20/03/2025
මහගෙදර මතක 💖
මේ අම්මාත් තාත්තාත් සමග මල්ලීත් මමත් හැදී වැඩුන නිවස ය. තාත්තා විසින් තැනූ නවීන පන්නයේ නිවසක් තිබුනද, 1974දී තාත්තා විවාහවීමෙන් පසුව ඉන් ඉවත්ව ඉඩමේ වෙනත් කොනක වරිච්චි බිත්ති සහිත මේ නිවස ඉදිකිරීමට සිදුවී තිබේ. ඊට හේතුව වයස 42ක් වූ අපේ තාත්තා විවාහ වේවියැයි තාත්තාගේ පවුලේ ඇතැම් අය නොසිතීමය.
තාත්තා හා අම්මා විවාහ වෙද්දී අම්මාගේ වයස අවුරුදු 38කි. මා ඉපදෙන්නේ දෙන්නේ අම්මාට වයස 39 පමණ වෙද්දීය. මල්ලී ඉපදෙන විට අම්මා 42 වියැතිය. තාත්තා විවාහ වුවද දරුවන් ලැබේවි යැයි යටකී ඇතැම් ඥාතීන් සිතුවේම නැත. ප්රශ්නය උග්ර වන්නේ ඉන් පසුවය. ඒ විස්තෘත පවුල තුළ තාත්තාටත් අම්මාටත් අත්විඳීමට වූ පීඩනය කොතෙක්ද යත්, තම ඩහදිය මහන්සියෙන් ඉදිකල නවීන පන්නයේ නිවස හා ඉඩකඩම්ද අතහැර කටුමැටි ගෙයක් තනාගෙන තමන්ගේම ඉඩමේ වෙනත් තැනක පවුල් කන්නට තාත්තාට සිදුවිය. පසුව තාත්තා විසින් මේ නිවසේ බිත්ති සිමෙන්ති බදාම යොදා කපරාරු කරවා තිබේ. එනිසා බැලූ බැල්මට මෙය ගඩොල් බැම්මක් සේ පෙනේ.
අම්මා වීවින් ගුරුවරියකි. ඇය තාත්තා සමග විවාහවී පැමින ඇත්තේ වීවීන් නොහොත් අත්යන්ත්ර පේෂකර්මාන්ත ශාලාවකට අවශ්ය උපකරණ සියල්ල රැගෙනය. 1970-1977 වකවානුවේ දේශිය අත්යන්ත්ර පේෂකර්මයට තිබූ තැන ගැන අම්මා මියෙන තුරුම මහත් ආශාවෙන් කතා කලාය. අප කුඩා සන්දියේ ගමේ කාන්තාවෝ 14 දෙනෙකු පමන අම්මාගේ ‘වීවීන්‘ එකේ වැඩ කලහ. එය තිබූනේ මේ නිවසේම කොටසකය. දිගු ශාලාවක් වූ එහි බාග බිත්ති බැඳ උළු හෙවිල්ලා බිත්තියත් වහලත් අතර කොටසෙහි කටුකම්බි පොටවල් හය හතක් ඇද තිබිණි. ඒ සියලු ගෘහ නිර්මානයන්හි ශිල්පියා තාත්තාය. පෙහෙකම්හල ලියාපදිංචි කලේ ජයසිරි වීවීන් කියාය. ඒ තාත්තාගේ නමයි.
එහි සරොම්ද, තුවාද, වේට්ටිද, ඇඳ ඇතිරිලි ආදියට වියනු ලැබිණි. අපේ ගමේද, යාබද වතුයායේ දෙමල ජනතාවද මහත් ආශාවෙන් ඒ කපුරෙදි මිලදී ගත්තෝය; වැඩටද, ගමනට බිමනටද ඒවා හැන්දෝය. එහෙත් 1985 පමණ වන විට ඒ ඇඳුම් වෙලඳාම බෙහෙවින් අඩුවිය. අලෙවිය අඩු වෙද්දී නිෂ්පාදනය ඉබේටම අඩුවිණි. අම්මාගේ සුසුම් මැද පෙහෙකම්හල අවසන් හුස්ම හෙලුවේය. වසර ගණනකට පසුව වයස්ගත වුවද අම්මා යලිත් මේ වටිනා කර්මාන්තය ඇරඹීමට අවස්ථා ගණනාවකදී තලතුනා කාන්තාවන් කිහිප දෙනෙකු සමගින් උත්හස දැරුවාය. නමුත් කෙටිකාලයකින් සියල්ල අසාර්ථක විය. නගර වල ඇඟලුම් කර්මාන්තශාලා වල වැඩට හුරුවූ කාන්තාවන් කිසිවකුත් අත්යන්ත්ර පේෂ කර්මාන්තය සම්බන්ධයෙන් උනන්දුවූයේ නැත. එය උන්ගේ වරදක් නොවේ.
1996 වන තුරු අපට විදුලිය තිබුනේ නැත. අප නිවසේ දැලුවුනේ චිමිනි ලාම්පු දෙකක්, හා කුස්සියේ එක් කුප්පි ලාම්පුවක් පමණි. මල්ලීත් මමත් පාඩම් කලේ ඒ එලියෙනි. එහෙත් අපේ අධ්යාපන සහතික කිසිවක ලාම්පු දැලි නැති බව සතුටින් සිහිපත් කරමි.
ඉස්තෝප්පුව නමින් හැඳින්වූ කොටසේ තිබූ ලාම්පුව වටා තාත්තාත් අම්මාත් මමත් මල්ලීත් හවස 7.00ට පමණ එක් රැස්වන්නේ ආගමික වතාවත් වලින් අනතුරුවය. තාත්තාගේ දවසද, අම්මාගේ දවසද අපි එතැනදී අසා සිටිමු. නිවසට තිබූ කුඩා ඇඳි පුටු දෙකේ අම්මාත් තාත්තාත් වාඩිවී සිටි අතර, මමත් මල්ලීත් එක්කෝ බිම නැත්නම් අම්මාගේ පේෂකර්මාන්තයේ කුඩා බංකු දෙකක් මත වාඩිවී ඒ කතා අසා සිටියෙමු. අනතුරුව මැද කාමරයේ ලාම්පුවේ දැල්ල වැඩි කොට මල්ලීත් මමත් ඉස්කෝලේ වැඩ කිරීමට යන අතර, තාත්තා පත්තරය බලන්නේ ඉස්තෝප්පුවේ ලාම්පු එලියෙනි. අම්මා කුස්සියේ කුප්පි ලාම්පුව රැගෙන ඉතිරි දවල් ව්යාංජන වලට සරිලන යමක් රෑ වේලට සකසයි.
අපට තිබුනේ එක් ඇඳකි. එය තබාතිබුනේ මේ ඡායාරූපයේ දැක්වෙන කාමරයේය. එය ඇඳ තියන කාමරය යැයි අපි හැඳින්වීමු. ඊට යාබද මැද කාමරයේ අම්මාත් මමත් මල්ලීත් පැදුරු එලා බිම බුදියා ගත් අතර, තාත්තා ඇඳේ නිදාගත්තේය. නිවස පිටුපසට වන්නට මහ කාමරය යැයි එකක් තිබුනේ වී මලු අසුරා තබන්නට ය. මැද කාමරයේ එක් තැනක වූ කුඩා බිත්ති රාක්කයක් හා පොත් මේසයක මල්ලීත් මමත් අපේ පාසල් පොත් තැන්පත් කර ගත්තෙමු. එහි ඉඩකඩ බෙදා ගැනීමට අප දෙදෙනා අතර වූ නිරන්තර රන්ඩු සරුවල් කෙලවර වූයේ දෙදෙනාම අම්මාගෙන් ගුටිකෑමෙනි.
නිවස පිටුපස කුකුල් මඩුවක් තිබිණි. ඒ බුලත් පාත්තියට යාබදව ය. එහි විශාල කලු කුකුලකුද විවිධ නම් වලින් හඳුන්වන කිකිළියන් පස් දෙනෙකුද සිටියෝය. එක් රාත්රියක (1983 දී පමණ) සොරකු ඒ කුකුල් පවුල සොරකම් කර තිබිණි. එවිට මා පාසලේ 3 ශ්රේණියේය. තාත්තා සොරා පසු පස හඹා ගියද, ඌ කුකුලන් සහිත ගෝනිය අතැර නැත. එතැනින් පසු තාත්තා කුකුලන් ඇතිකළේ නැත.
බිත්තිමත තිබෙන යටලීයත්, උලුකැටත් අතර ඇති හිඩැසින් සමහර දින වල ගෙට හොර බළලකු පනින්නේ අපේ ගෙයි සිටින පූසකු කා දැමීමටය. එදිනට අපි ඒ හොර බළලාට ගෝනි පාපිසි වැනි හානි කර නොවන දේයින් පහර දෙන්නෙමු. එය තරමක් විනෝද ජනක වුවද සිද්ධිය ඇරඹෙන්නේ මධ්යම රාත්රියේය. හොර බලලා පලා ගිය පසු අපේ බළලා වී මලු පැදුරු හෝ වෙනත් අස්සකින් මුල්ලකින් එලියට එන්නේ ය.
ඒ නිවසේ කාලය අවසන්ය. දින දෙක තුනකට පෙර එහි වහල ගලවා දැමීමි. දැන් ඇත්තේ බිත්ති පෙරලා දැමීමට ය. වහල ගලවද්දීත් මට නොදැනෙන කොහේදෝ තැනක් කකියන බවක් දැනිනි... බිමට ගත් සෑම උළුකැටයකම, පරාලයකම රීප්පයකම අපේ කථාවේ කොටසක් සිතුවම් වී ඇතැයි සිතිනි. චිත්තවේගී මතක සිතුවම් ඇඳී ඇති බිත්ති පෙරලීම ඉදිරියේදී කරමි....වසර කීපයක් තිස්සේ ගරාවැටෙමින් පැවති ඒ ගොඩනැගිල්ල ඉවත් කරන්නැයි බොහෝ දෙනා කීවද ඊට හිත එකඟ කර ගැනීමට මට තාමත් බැරිය..
Copied - Chamila liyanage